2018-07-21

සිංහල-දෙමළ......!!!



මේක ජාති වාදී කතාවක් නෙවෙයි.මම දැකපු දෙයක්.
මේ සිදුවීම මං  මගේ තද සිංහලවාදී යාලුවෙකුට කියපුහම එයා කිවේ දර්මයේ තියන බලය නිසා ඒ දේ උනා කියල.කොහොම උනත් කියවල බලල ඔයාලම තීරණය කරාන්නකෝ.

එදා මම night කරපු දවසක්.වැඩ ඇරිලා ට්‍රාන්ස්පෝට් බස් ආවේ.බස් එක ප්‍රදාන පාරෙන් අපේ ගෙවල් වලට යන අතුරු පාරට හරවල ටිකක් දුර ආව.ඒ පාර ටිකක් පටුයි.ලොකු බස් දෙකකට එකපාර මාරු වෙන්න බෑ.හරියටම රබර් ඉස්ටෝරුව ලගදි පාරේ අනිත් පැත්තෙන් ආපු වාහනයක් නිසා අපේ බස් එකට ඉඩ දෙන්න පාරේ අයිනට කරලා නතර කළා. 
රූපේ බැලුවහම ටිකක් තැන ගැන හිතාගන්න පුළුවන් වෙයි කියල මං හිතනවා.ඔය ඉස්ටෝරුව ඉස්සරහ තියනවා පොඩි බුදු මැදුරකුයි බෝධියකුයි.බුදු මැදුරට එහායින් තියනවා තව බල්බ් හදන පැක්ටරියකුයි.රබර් ඉස්ටෝරුවේ වැඩකරන්නේ ලග ලයිමක ඉන්න දෙමල අය.බල්බ් වැඩපොළේ වැඩ කරන්නේ ගමේ සිංහල උදවිය.
දැන් මන් බස් එකේ ඉදන් ඔය බුදු මැදුර දිහා බැලුව නිකමට.මං දැක්කේ හරි ලස්සනට බුදු මැදුරේ මිදුල ඇමදල බෝ කොළ ටික පරිස්සමට අස් කරන දෙමල ගෑනු කෙනෙක්.මට පුදුම හිතුන.එහා පැත්තේ තියන බල්බ් වැඩපොළේ වැඩ කරන සිංහල කවුරුවත් ඔය මිදුල අමදිනවා මං දැකල නෑ.දැකපු කෙනත් ඉස්ටෝරුවේ දෙමල කෙනෙක්.

මට තාම හිතාගන්න බැරි හින්දු ආගම අදහන ඒ ගැණු කෙනාද සිංහල බෞද්ධ කියල මහා ලොකුවට කෑ ගහන අපිද මේකෙදි හරි කියල.කොහොම උනත් මගේ හිත කියන්නේනම් මගේ යාළුවා කියපු ධර්මයේ තියන බලය,අනුහසට වඩා එහා ගිය පැහැදිලි කිරීමක් ඒ සිදුවීමට අවශ්‍යයි කියලයි.........

මගේ අසාවට ලියන අපේ මතක....!!!

2018-07-14

මද්ද

අද කතාව ටිකක් වෙනස්.මාසියි මමයි ඇරුනහම අපේ ගෙදර ඉන්නවා තව පරාණ 6ක්.වැඩි විස්තර පස්සේ කියන්නම්.මේ කතාව කියන්නේ ඒ 6 දෙනාගෙන් ඉන්න එකම කොල්ල ගැන.

එයාගේ නම winki.ශ්‍රී ලන්කන් හවුන්ඩ් වර්ගයේ බලු තඩියෙක් මෙයා.ගෙනාවේ කාලෙකට කලින් කැලණියේ ගැලුව මහා ගං වතුරට අවතැන් වෙලා හිටපු ඇච්ච බට්ටා කාලේ.

ගෙනාපු කාලේ ඉදලම මෙයා හරිම වසවර්තියා.පුදුම දාංගලයක් තියෙන්නේ.දැන් අවුරුදු 3ක් වෙලත් බින්දුවක් එකේ අඩු නෑ.

මමයි මායියයි අද ටවුන් ගිහින් එනකොට අපේ මේ කතා නායක උන්නැහේ ඈත ඉදං අමුතුවට කෑ ගහනවා අපි දෙන්නට ඇහුන.මාසි ඒ සද්දේ ඇහුන ගමන් කීවා අදනම් winkiයා  මොකක්හරි බාල්දියක් පෙරලගෙන තමයි ඔය කෑ ගහන්නේ කියල.(අම්මට දරුවන්ගේ දේවල් දැනෙනවා කියන්නේ නිකන් යෑ)ඉතින් අපි දෙන්නම වටපිට හොදිස්සි කරා කොහෙද මේ නාම්බා ඉන්නේ කියලා.

මෙන්න ඉන්නවා ලග පාලු වත්තක අකුලකට වෙලා බිම වකුටු ගැහිලා.අඩගහුවට එන්නෙත් නෑ.කදුළු පුරෝගෙන බලාන ඉන්නවා.මං ටිකක් කිට්ටු කරලා බැලුවා මොකක්ද මේ ජංජාලේ කියල.
හපොයි... බලු තඩිය මද්දකට අහුවෙලා.ත්‍රී වීල් කේබල් එකකින් හදපු මද්දක්.මට ඉතින් ඒක හදපු එකාගේ සනුහරේම මතක් උනා.අමාරුවෙන් දගලලා මගේ සුනක පෝතකයා මද්දෙන් ලෙහල ඇරලා ඊටත් අමාරුවෙන් මද්දත් ලෙහල ගෙදර අරන් ආව.

මස් කන්න ඕනෙනම් සල්ලි ටිකක් දීල කඩෙන් කන්න.මේ වගේ දේවල් කරලා මිනිස් කමට ලජ්ජා වෙන වැඩ කරන්න එපා කියල ඒ මද්ද ගහපු කෙනාට මට කියන්න ඇත්තම්..........

මගේ අසාවට ලියන අපේ මතක....!!!

2018-07-12

දෙයියන්ගේ මල්ලි…..

අපි කවුරුත් දන්න අපි කාටත් ඕන සල්ලි ගැන තමයි අද මගේ කතාව…..
අපරාදේ කියන්න බෑ සල්ලි කියන දේ ඔය කාටත් වගේ තමයි මටත්.පඩිය දාපු දවසේ ඉදං දවස් තුනක් ඇතුලත කොහොමහරි මගේ පර්ස් කට්ටෙන් ඉගිලිලා යනවා.අමුතුවෙන් ආයේ කියන්න දෙයක් නෑ එවක් පටං මං තුමා සහ මගේ ඇබේණි තොමෝ හොම්බෙන් යන්නේ.
ලොකුවට ඔය මුදල් කළමනාකරණ කෝස් නොකරට මොකද,අපේ නෝනා මාසේ ගෙවාගන්න ගහන ගේම අම්මප මටනම් හිතාගන්නවත් බෑ.ඉදල හිටලා පොඩි පොඩි අලකලංචි උනාට අපි කොහොමහරි දෙයියන්ගේ මල්ලිව එහෙට මෙහෙට කරකවා කරකවා මාසේ ජීවත් වෙනහැටි අයිය දෙයියන්ට නොපෙනෙන එකයි මට තියන පුදුමේ.
මං දන්නා තරමින් මං වගේ ජිවත් වෙන නොසෑහෙන පිරිසක් මේ රටේ ඉන්නවා.අපි හැමෝම ඒක දැන දැනත් අපිට මෙහෙම උනාට අරුට නම් සරුයි.දැන් අපිවත් අමතකයි.කිය කියා තව එකෙකුට බනිනවා.එත් ඌ ජීවත් වෙන්නෙත් අපි වගේම තමයි…
මට මේ ගැන ලියන්න හිතුනේ අපේ මායියා අද උග්‍ර ආර්ථික අවපාතෙට විසදුමක් විදිහට ගෙදර ඉදන් එයාට කරන්න පුළුවන් ස්වයං රැකියා ගැන phone එකෙන් අන්තර්ජාල ගතවෙලා හොයනවා දැකල.ඒ අතින් අපි කොයි තරම් අසරණද කියල මටම හිතුන.
මං මේ සටහන තියන්නේ,අපි ගොඩක් දෙනෙක් ගෙවන මේ ජීවිතේට අප්‍රමාණ හයියක් වෙන තිරය පිටිපස්සේ ඉදං පට්ට කට්ටක් කන මගේ බිරිද වගේම,ඒ හැම බිරිදකටම කරන උපහාරයක් විදිහට…!!!
මගේ අසාවට ලියන අපේ මතක....!!!

2018-07-08

මාසි

මාසි කියන්නේ මගේ ආදරණිය බිරිද.එයා ගොඩාක් හොදයි.(හොද වගේම සැරයි.).ලව් කරලා බැන්ද.
මාසි කියන්නේ බෙල රුසියන් භාෂාවෙන් අම්මා කියන එකයි.මාසිත් මට මගේ අම්ම වගෙයි.ඒ නිසයි මං එයාට මාසි කියන්නේ.
එයා සුදු නෑ කළුයි,ඒත් මට එයා ගොඩක් ලස්සනයි.කට ටිකක් සැරයි,ඒත් මං ඒකට ආසයි.නොදන්න දෙයක් නෑ,එකට මට හරි ආඩම්බරයි.
හොද ගතිගුණ ගොඩක් මං එයාගෙන් දැක්ක.මං ඒවා ගොඩක් අගේකරනවා.
ඔන්න ඔහොමයි විස්තරේ.ඉස්සරහට තව කතා,සිද්ධි,නාටක ලියන්නම්….
හම්බවෙමුකෝ ඉස්සරහට හොදේ……..

මගේ අසාවට ලියන අපේ මතක....!!!

2018-07-07

වස්තු කතා ඇරබුම

blog කියවල කියවල මටත් ආසහිතුන blog එකක් හීනියට පටාන් ගන්න. වෙලාව තියන විදිහට මමත් ඔය පොඩි පොඩි දෙයක් කුරුටුගානවා.එහෙනම් බලමුකෝ මගේ blog කෙරුවාව කොහොමවෙයිද කියල නේද....???

2018-07-06

මම වස්තු

මගේ නම වස්තු.මං නම් දැන් දශක තුනකටත් වඩා කාලයක් මේ නරලෝකේ හක්කලන් කොරල තියනවා.දැනට කසාදයක් එහෙම කොරගෙන පාඩුවේ පොඩි පැල් කොටයක් අටවාගෙන ජීවත් වෙනවා.
අන්තර් ජාලේ සැරිසරනකොට මට,
ජනේලය
නුවරකුමාරි
අටන්පහුර
වගේ blog ගොඩක් මං කියෙව්වා.ගොඩක් දැනුම වගේම ජිවිත අත්දැකීම් එහෙමත් රසවින්දා.ඒ දේවල් එක්ක මමත් හිතුව මං කරපු කියපු දේවල් ටිකක් මේ කාටත් අයිති පොදු අවකාශේ කුරුටු ගාල තියන්න.කවුරු මේවා කියවයිද?මොනවා මේවට කියයිද? කියන එක මං දන්නේ නෑ.එත් මං ලියනවා.
ඔන්න මේ වස්තුගේ මුල්ම intro එක….!!!!
( wasthukatha.wordpress.com )